මෙවර ඔස්ට්‍රේලියාවේ අය වැය ජාත්‍යන්තර සිසුන්ට, skilled වීසා අයදුම්කරුවන්ට සහ සංචාරකයින්ට බලපාන්නේ මෙහෙමයි

2023–24 මුල්‍ය වර්ෂයේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර වීසා කෝටාව 190,000 දක්වා ඉහළ දැමීමට වත්මන් කම්කරු පක්ෂ රජය තීරණය කර ඇත.

An artwork of a map of Australia with passport stamps on each state

Source: SBS

2023 ජූලි 01 වනදායින් ඇරඹෙන ඔස්ට්‍රේලියාවේ නව මුල්‍ය වර්ෂයේදී ඔස්ට්‍රේලියානු වීසා සහ සංක්‍රමණ පද්ධතිය සඳහා වෙනස්කම් කිහිපයක් සිදුකිරීමට වත්මන් කම්කරු පක්ෂ රජය තීරණය කර තිබේ.

එම සංශෝධනවලින් කොටසක් පසුගිය අප්‍රේල් 27 වනදා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය Clare O'Neil විසින් හෙළිකළ අතර සෙසු වෙනස්කම් මැයි 09 වන දින ඉදිරිපත් කළ ඔස්ට්‍රේලියානු ෆෙඩරල් අය වැයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.

ඒ අනුව එම වෙනස්කම් පහත පරිදි වේ.

Skilled වීසා සඳහා ප්‍රමුඛත්වය ලබා දීම

2023–24 මුල්‍ය වර්ෂයේ ඔස්ට්‍රේලියාවේ ස්ථිර වීසා කෝටාව 190,000 දක්වා ඉහළ දැමීමට වත්මන් කම්කරු පක්ෂ රජය තීරණය කර ඇත.

එයින් 137,100 කෝටාවක් Skill වීසා ධාරාවට වෙන් කර තිබෙන අතර ඔස්ට්‍රේලියාවේ දැනට පවතින පුහුණු ශ්‍රමිකයින්ගේ හිඟය පියවීමට එයින් යම් පිටිවහලක් ලැබෙනු ඇතැයි මධ්‍යම රජය විශ්වාස කරයි.

කෙසේ වෙතත්, partner සහ child වීසා ඉල්ලුම මත රඳා පවතිනු ඇත.

———————————————————————————

ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:

SBS සිංහල වෙබ් අඩවිය: www.sbs.com.au/sinhalese

SBS සිංහල Facebook පිටුව: www.facebook.com/SBSSinhala

SBS Audio App: App Store 

හෝ Google Play වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————

මීට අමතරව පුහුණු ශ්‍රමිකයින් ඔස්ට්‍රේලියාවට වඩාත් ආකර්ෂණය කරගැනීම සඳහා සහ ඔවුන්ගේ ශ්‍රමය සූරා කෑමට ලක් නොවීමට වග බලා ගැනීම සඳහා Temporary Skilled Migration Income Threshold (TSMIT) $53,900 සිට $70,000 දක්වා 2023 ජූලි 01 වනදින සිට ඉහළ දැමීමට නියමිතය.

ඊට අමතරව දැනට ක්‍රියාත්මක සංක්‍රමණික ලකුණු ක්‍රමය හරහා සෑම විටම හොඳම අපේක්ෂකයින් තෝරා නොගන්නා බවත් එනිසාම වත්මන් සංක්‍රමණික ලකුණු ක්‍රමය වෙනස් කළ යුතු බවත් මධ්‍යම රජය පවසා තිබේ.



එමෙන්ම ඔස්ට්‍රේලියාවේ වත්මන් වීසා ක්‍රමය ඉතා මන්දගාමී සහ සංකීර්ණ එකක් බවත් එනිසාම ඒවා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ වැඩසටහනේ ගුණාත්මක භාවයට පැහැදිලිවම බලපා ඇති බවත් මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු අමාත්‍ය Clare O'Neil සඳහන් කළාය.

මේ හේතුවෙන් අනවශ්‍ය ලෙස සංඛ්‍යාත්මකව වැඩි වීසා, පද්ධතියෙන් ඉවත් කර ඔස්ට්‍රේලියාවේ වීසා පද්ධතිය කාර්යක්ෂම කර පුහුණු ශ්‍රමිකයින්ව වැඩ වඩාත් ආකර්ෂණය කරගැනීමට මධ්‍යම රජය කටයුතු කරන බව නිවේදනය කර ඇත.

ජාත්‍යන්තර සිසුන් සඳහා සිදුකළ වෙනස්කම්

2023 ජුලි 01 සිට, ජාත්‍යන්තර සිසුන් සඳහා රැකියා කිරීමේ පැය ගණනේ සීමාවන් නැවත හඳුන්වා දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.

කොවිඩ් වසංගතය නිසා ඔස්ට්‍රේලියාවේ ඇතිවූ ශ්‍රම හිඟය පියවා ගැනීම පිණිස පසුගිය කාලයේ ශිෂ්‍ය වීසා ලාභීන්ට රැකියා කිරීම සඳහා පනවා තිබුණු පැය ගණනේ සීමාව ඉවත් කරනු ලැබීය.

ඒ හරහා ප්‍රාථමික සහ ද්විතීයික ශිෂ්‍ය වීසා බලපත්‍රලාභීන්ට සති දෙකකට පැය 40 ක සාමාන්‍ය සීමාවට වඩා රැකියා කිරීමට හැකි වුහ.

නමුත් 2023 ජූලි 01 සිට ජාත්‍යන්තර සිසුන්ට දෙසතියකට පැය 48 ක් පමණක් රැකියා කිරීමට අවසර ලැබේ.

කෙසේවෙතත්, aged care අංශයේ රැකියා කරන ජාත්‍යන්තර සිසුන්ට 2023 දෙසැම්බර් 31 දක්වා එම පැය 48 සීමාව බල නොපාන බවද මැයි 09 ඉදිරිපත් කළ මධ්‍යම රජයේ අය වැයෙන් ප්‍රකාශ කෙරිණි.
මේ අතර 2023 ජූලි 01 සිට 485 වීසා උප ඛාණ්ඩයේ තාවකාලික උපාධි වීසා බලපත්‍ර දරන්නන්ට ඔස්ට්‍රේලියාවේ වැඩි කාලයක් රැඳී සිටීමට ද හැකියාව ලැබේ.

ඒ අනුව සාමාන්‍ය උපාධිධාරීන් සඳහා වසර හතරක කාලයක්ද, ශාස්ත්‍රපති උපාධිධාරීන් සඳහා වසර පහක කාලයක්ද සහ ආචාර්ය උපාධිධාරීන් සඳහා වසර හයක කාලයක්ද ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට අවසර ලැබෙනු ඇත.

දක්‍ෂ උපාධිධාරීන්ට ස්ථිර පදිංචිය සඳහා වේගවත් මාර්ග ලබා දීමෙන් ජාත්‍යන්තර සිසුන්ගේ රැකියා සූදානම සහ ප්‍රතිඵල වැඩිදියුණු කිරීම ගැනද අය වැයේදී ප්‍රකාශ කෙරිණි.

තාවකාලික වීසාවල සිටින පුහුණු ශ්‍රමිකයන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා මාර්ගයක්

2023 වසර අවසන් වන විට, Employer Nomination Scheme (186 වීසා උප ඛාණ්ඩය) වීසා බලපත්‍රයේ Temporary Residence Transition (TRT) ප්‍රවාහය ක්‍රියාත්මක කිරීමට මධ්‍යම රජය පියවර ගෙන තිබේ.

මෙම ප්‍රවාහය සිය සේවා යෝජකයන් අනුග්‍රහය දැක්වීමට කැමති සියලුම Temporary Skill Shortage (TSS) වීසා දරන්නන් හෙවත් 482 වීසා ලාභීන් සඳහා වේ.

අදාළ අයදුම්කරුවන්ට ඔවුන්ගේ TSS වීසා සඳහා නම් කරන ලද රැකියාවේ දිගටම වැඩ කිරීමට අවශ්‍ය වනු ඇත.

දැනට, සංක්‍රමණිකයන් 173,000 ක් තාවකාලික රැකියා හෝ ශිෂ්‍ය වීසා මත වසර පහක් හෝ ඊට වැඩි කාලයක් ඔස්ට්‍රේලියාවේ සිටින බව වාර්තා වේ.

වීසා ගාස්තු වැඩි කිරීම

2023 ජූලි 01 සිට ඔස්ට්‍රේලියාවේ බහුතරයක් වීසා අයදුම්පත්වල ගාස්තු 6% කින් ඉහළ දමන බව මැයි 09 වනදින මධ්‍යම රජයේ අය වැයෙන් ප්‍රකාශයට පත් කෙරිණි.

ඒ අනුව මේ වන විට $150 පවතින සංචාරක වීසා ගාස්තු $190 දක්වා $40 කින් ඉහළ දැමේ.

ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා අයදුම්පත්වල ගාස්තු $650 සිට $715 දක්වා $65 කින් වැඩි කෙරේ.

මේ වන විට $510 පවතින working holiday වීසා ගාස්තු $640 දක්වා $130 කින් ඉහළ දමනු ඇත.

අයවැයට අනුව Pacific Engagement වීසාවල සහ Pacific Australia Labour Mobility යෝජනා ක්‍රමයේ වීසාවල පමණක් වීසා ගාස්තු වැඩි නොකෙරේ.

මෙම වෙනස්කම් මගින් සෑම වසරකම ඩොලර් මිලියන 100 කට වඩා වැඩි මුදලක් එකතු වන අතර එමඟින් වීසා සැකසීමේ ක්‍රමය වැඩිදියුණු කිරීමට අරමුදල් ලැබෙනු ඇති බව මධ්‍යම රජය පවසයි.
A table showing visa prices
Source: SBS

පවතින වීසා සැකසීමේ පද්ධතිය වැඩිදියුණු කිරීම

ඔස්ට්‍රේලියාවේ දැනට පවතින වීසා සැකසීමේ පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා 2023-24 සිට වසර දෙක පුරාවට ඩොලර් මිලියන 75.8ක් වැය කරන බව අය වැයේදී මධ්‍යම රජය නිවේදනය කළේය.

එහිදී වීසා සැකසුම් නිලධාරීන් 500 දෙනෙකුට සහාය වීම සඳහා මධ්‍යම රජය මාස 12ක් තුළ ඩොලර් මිලියන 48.1ක් ලබා දෙනු ඇත.



Share

Published

By Madhura Seneviratne
Source: SBS

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
මෙවර ඔස්ට්‍රේලියාවේ අය වැය ජාත්‍යන්තර සිසුන්ට, skilled වීසා අයදුම්කරුවන්ට සහ සංචාරකයින්ට බලපාන්නේ මෙහෙමයි | SBS Sinhala