ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට මග සලසන තවත් ප්‍රධාන මාර්ගයක් ලෙස Skilled Work Regional (Provisional) – Family Sponsored වීසා හෙවත් 491 Family Sponsored වීසා හැඳින්විය හැකිය.
ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප සඳහා පවුලේ සාමාජිකයෙකුගේ අනුග්‍රහයෙන් සුදුසුකම් ලත් පුද්ගලයින්ට මෙම 491 Family Sponsored වීසා සඳහා අයදුම් කිරීමට හැකියාව තිබේ.
491 Family Sponsored වීසා සඳහා අනුග්‍රහය දැක්වීමට සැපිරිය යුතු සුදුසුකම්
491 Family Sponsored වීසා සඳහා අයදුම් කරන අයදුම්කරුවෙකු සඳහා සුදුසුකම් ලත් අනුග්‍රාහකයෙකු අනුග්‍රහය කළ යුතුය.
එහිදී මූලික පියවර ලෙස ඔබ ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට මෙම වීසා බලපත්‍රය අයදුම් කිරීම ආශ්‍රිතව expression of interest හෙවත් EOI එකක් යොමු කළ යුතු අතර එහිදී තමාගේ ඥාතී පුද්ගලයෙකු තමාට අනුග්‍රහය දක්වන බව සඳහන් කළ යුතුය.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
එම අනුග්‍රාහකයා සැපිරිය යුතු සුදුසුකම් කිහිපයක් ඇති බවත් ඒවා සැපිරීමෙන් පසුව පමණක් මේ සඳහා වලංගු අනුග්‍රාහකයෙකු වන බවත් මෙල්බර්න්හි බැරිස්ටර්වරියක් මෙන්ම සොලිසිටර්වරියක් ලෙස කටයුතු කරන නීතීඥ ඩිෂ්නි ගල්කොටුව යසමාන්න මහත්මිය SBS සිංහල ගුවන් විදුලිය වෙත පැවසුවාය.
එම සුදුසුකම් පහත පරිදි වේ:
- අනුග්‍රහය දක්වන පුද්ගලයා වයස අවුරුදු 18 ට වඩා වැඩි විය යුතුය.
- අනුග්‍රහය දක්වන පුද්ගලයා හට ඔස්ට්‍රේලියාව තුළ ස්ථිර පදිංචිය හෝ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හෝ නවසීලන්ත පුරවැසිභාවය තිබිය යුතුය.
- ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නම් කරන ලද ප්‍රාදේශීය කලාපයක අදාළ අනුග්‍රහය දක්වන පුද්ගලයා ජීවත් විය යුතුය.
අනුග්‍රහය දැක්වීමට සුදුසුකම් ලබන ඥාතී පුද්ගලයින්
- අයදුම්කරුගේ දෙමාපියන්ගෙන් කෙනෙකු
- අයදුම්කරුගේ සහෝදර සහෝදරියන්ගෙන් කෙනෙකු
- අයදුම්කරුගේ මිත්තණියක් හෝ මුත්තනුවෙක්
- අයදුම්කරුගේ දෙමාපියන් adopted හෙවත් හදාගත් සහෝදරයෙක් හෝ සහෝදරියක්
- අයදුම්කරුගේ දරුවෙකු
- අයදුම්කරුගේ step child කෙනෙකු
- අයදුම්කරුගේ මාමා කෙනෙකු හෝ නැන්දා කෙනෙකු
- අයදුම්කරුගේ first cousin හෙවත් සමීපතම ඥාතී සහෝදරයෙක් හෝ සහෝදරියක්
අයදුම්කරුත් අනුග්‍රහය දක්වන ඥාතියා වෙසෙන ප්‍රාදේශීය කලාපයටම යා යුතුද?
491 Family Sponsored වීසා බලපත්‍රයක් පිරි නැමීමේදී එම වීසා බලපත්‍රයේ වීසා ලාභියා පිළිපැදිය යුතු වීසා කොන්දේසි පැහැදිලිව සටහන් කර තිබේ.
එම කොන්දේසි යටතේ අදාළ වීසා ලාභියා ජීවත් විය යුතු ප්‍රාදේශීය කලාපය ද සටහන් කර ඇති බව නීතීඥ යසමාන්න මහත්මිය SBS සිංහල ගුවන් විදුලිය වෙත පැවසුවාය.
වීසා ලාභියා කෙරෙහි අනුග්‍රහකයාට නීතිමය වගකීමක් හා වගවීමක් තිබේද?
491 Family Sponsored වීසා ලාභියෙකු කෙරෙහි ඔහුගේ හෝ ඇයගේ අනුග්‍රහකයා පහත වගකීම් දරන බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට පොරොන්දී විය යුතු බව නීතීඥ යසමාන්න මහත්මිය පැහැදිලි කළාය.
- වීසා ලැබී වසර දෙකක් යනතෙක් අදාළ වීසා ලාභියාට අනුග්‍රහකයා නවාතැන් පහසුකම් සැපයිය යුතුය.
- වීසා ලැබී වසර දෙකක් යනතෙක් අදාළ වීසා ලාභියාට මුල්‍යමය උපකාර ලබාදිය යුතුය.
- අදාළ වීසා ලාභියා සම්බන්ධව රජයට දැරීමට සිදුවන යම් වියදමක් වෙතොත් එහි වගකීම අනුග්‍රහකයා බාර ගත යුතුය.
- වීසා ලාභියා තම වීසා කොන්දේසිවලට අනුකුලතාවක් දක්වන බවට වූ සියලු වගකීම අනුග්‍රහකයා බාර ගත යුතුය.