මධ්‍යම පාර්ලිමේන්තුවෙන් පසුව වික්ටෝරියානු ප්‍රාන්ත පාර්ලිමේන්තුවේත් ලිංගික කටයුතු: මැයි 17 SBS සිංහල වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්

මැයි 17 වන දා සඳුදා SBS සිංහල ගුවන්විදුලි වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය කෙටියෙන් ලිපියක් ලෙසින් ඉදිරිපත් කෙරේ.

The outside of the Victorian Parliament building.

Pandemic powers law reaches Vic parliament Source: AAP

Highlights

  • වයස අවුරුදු 50 ට වැඩි ඔස්ට්‍රේලියානුවාසීන්ට පවුලේ වෛද්‍යවරුන්ගෙන් අද සිට කොරෝනා එන්නත්.
  • ඔස්ට්‍රේලියාවේ දේශසීමා නැවත විවෘත කිරීමේ නිශ්චිත කාල සීමාවක් නොමැති බව භාණ්ඩාගාරික අමාත්‍යවරයා පවසයි.
  • Greater Sydney කලාපයට පනවා තිබූ කොරෝනා නීති අද අලුයම සිට ඉවතට.
  • වික්ටෝරියානු මන්ත්‍රීවරයෙකු ප්‍රාන්ත පාර්ලිමේන්තුව ලිංගික කටයුතු සඳහා භාවිතා කළ බවට හෙළිවෙයි
  • ගාසා තීරයේ ගැටුම් වහාම නවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයාගෙන් විශේෂ ඉල්ලීමක්.
  • තරග 3 ක එක්දින තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයට පැමිණෙයි.

වයස අවුරුදු 50 ට වැඩි ඔස්ට්‍රේලියානුවාසීන්ට පවුලේ වෛද්‍යවරුන්ගෙන් අද සිට කොරෝනා එන්නත්

වයස අවුරුදු 50 ට වැඩි ඔස්ට්‍රේලියානුවාසීන්ට අද සිට (17/05) තම කොරෝනා එන්නත තමන්ගේ පවුලේ වෛද්‍යවරයාගෙන් ලබාගැනීමට හැකිවේ.

එම වයස් ඛාණ්ඩයේ උදවියට AstraZeneca එන්නත් මාත්‍රා ද්විත්වයම ලබා දීමට කටයුතු කර ඇති අතර දෙවැනි මාත්‍රාව, පළමු මාත්‍රාව ලබා දී සති 12 කින් කබා දීමට සැලසුම් කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන පෙර සැලසුම් කළ ආකාරයට වඩා සැලකිය යුතු ලෙස ප්‍රමාද වී ඇත.

නමුත් aged care මධ්‍යස්ථාන වල සිටින පුද්ගලයින් ඇතුළුව වයිරසයට අවදානම් පිරිසෙන් බහුතරයක් මේ වන විට එන්නත ලබාගනිමින් සිටින බව ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison පැවසීය.

ඔස්ට්‍රේලියාවේ දේශසීමා නැවත විවෘත කිරීමේ නිශ්චිත කාල සීමාවක් නොමැති බව භාණ්ඩාගාරික අමාත්‍යවරයා පවසයි

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශසීමාව නැවත විවෘත කිරීමේ නිශ්චිත කාල සීමාවක් නොමැති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පවසයි.

ඔස්ට්‍රේලියානු දේශ සීමා ලබන වසරේ මැද භාගයේදී විවෘත කිරීමට හැකිවනු ඇති බවට පසුගිය සතියේ ඉදිරිපත් කළ මධ්‍යම රජයේ අය වැයෙන් උපකල්පනය කර තිබුණි.

නමුත් එය තීරණය කරනු ලබන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව බව භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පවසයි.

මේ අතර ඔස්ට්‍රේලියානු දේශ සීමා ඉක්මනින් විවෘත කිරීම සඳහා මධ්‍යම රජයට දැන්ම ගත හැකි පියවර කිහිපයක් ඇති බව විපක්ෂ නායක Anthony Albanese පවසයි.

මේ අතර විදෙස් රටක සිට ඔස්ට්‍රේලියාවට පැමිණීමට පෙර කොරෝනා පරීක්ෂණයක් සිදුකර ඒ සඳහා ඍණාත්මක ප්‍රතිඵලයක් පෙන්විය යුතු බව්ටා අදාළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලා සිටීම සුදුසු පූර්වාරක්ෂක ක්‍රියාවක් බව ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පවසයි.

කොරෝනා පරීක්ෂණ වලින් ධනාත්මක ප්‍රතිඵල ලබා තිබීම හෝ වෙනත් ආසාදිතයින්ගේ සමීප ආශ්‍රිතයින් ලෙස සිටීම හෝ නිසා ඉන්දියාවේ සිරවී සිටින ඇතැම් ඔස්ට්‍රේලියානුවන් හට නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමේ විශේෂ ගුවන් යානයක අසුනක් ලබාගැනීමට නොහැකි වී තිබේ.

එලෙස කොරෝනා පරීක්ෂණ වලට මුහුණ දුන් පුද්ගලයින්ගෙන් තිදෙනෙකු ගේ ප්‍රතිඵල පමණක් ඍණාත්මක බව තහවුරු වී ඇත.

අදාළ මගීන්ගේ කොරෝනා පරීක්ෂණ සිදුකළ රසායනාගාරයේ වලංගු භාවය පසුගිය අප්‍රේල් මාසයේදී ඉන්දීය බලධාරීන් විසින් අහෝසි කළ බවටත් එම රසායනාගාරය කොරෝනා පරීක්ෂවන්ගේ ප්‍රතිඵල ව්‍යාජ ධනාත්මක ප්‍රතිඵල ලෙස ලබා දී ඇති බවටත් වාර්තා වේ.

ඉන්දියාවේ දැනට ඇති වාතාවරණය අභියෝගාත්මක වාතාවරණයක් වන බවත් කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයින් ආරක්ෂිතව ඔස්ට්‍රේලියාවට ගෙන යා හැකි යෝජනා තමන් ප්‍රතික්ෂේප කරන බවත් ඔස්ට්‍රේලියානු අගමැති Scott Morrison පවසයි.

Greater Sydney කලාපයට පනවා තිබූ කොරෝනා නීති අද අලුයම සිට ඉවතට

ඊයේ දිනයේදී ද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රජාව අතරින් කිසිදු කොරෝනා ආසාදිතයෙකු හමු නොවීමත් සමග Greater Sydney කලාපයට පනවා තිබූ කොරෝනා නීති අද අලුයම සිට ඉවත් කර තිබේ.

ඒ අනුව නිවාස වල රැස්විය හැකි උපරිම පුද්ගලයින් ප්‍රමාණයේ සීමාව ඉවත් කර ඇති අතර ගායනය සහ නර්තනය සඳහා දැන් යළි අවසර ලබා දී තිබේ.

පොදු ප්‍රවාහන සේවා වලදී මුව ආවරණ පැළඳීම අද සිට අනිවාර්ය නොවන බවද සඳහන්.

මේ අතර මීට පෙර Greater Sydney කලාපයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයාට වයිරසය වැළඳුනු ආකාරය තවමත් අපැහැදිලි බව NSW Health පවසයි.

වික්ටෝරියානු මන්ත්‍රීවරයෙකු ප්‍රාන්ත පාර්ලිමේන්තුව ලිංගික කටයුතු සඳහා භාවිතා කළ බවට හෙළිවෙයි

වික්ටෝරියානු ප්‍රාන්ත රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තම පාර්ලිමේන්තු කාර්යාලය ලිංගික කටයුතු සඳහා යොදා ගැනීම කණගාටුදායක හා නුසුදුසු සිදුවීමක් බව වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩබලන ප්‍රාන්ත අගමැති James Merlino පවසයි.

අදාළ මන්ත්‍රීවරයා කවුරුන්දැයි තවමත් හඳුනාගෙන නොමැති අතර වැඩබලන ප්‍රාන්ත අගමැතිවරයා අදාළ මන්ත්‍රීවරයාගේ නම ප්‍රසිද්ධ කළ යුතු බවට වික්ටෝරියා ප්‍රාන්තයේ විපක්ෂය පවසයි.

ඇතැම් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව ගණිකා නිවාසයක් ලෙස සැලකීම පිළිබඳ තමා බියට පත්ව ඇති බව මුල්‍ය කටයුතු පිළිබඳ ලිබරල් පක්ෂයේ නියෝජිත මන්ත්‍රී Matthew Guy පැවසීය.


 

SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට 

සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download) 


ගාසා තීරයේ ගැටුම් වහාම නවත්වන ලෙස එක්සත් ජාතීන්ගේ මහා ලේකම්වරයාගෙන් විශේෂ ඉල්ලීමක්

ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් ගාසා තීරයේ ගොඩනැගිලි තුනක් විනාශ වී අවම වශයෙන් පුද්ගලයින් 42 ක් මිය යාමේ සිද්ධියෙන් පසුව මෙම මැද පෙරදිග ගැටුම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ජාත්‍යන්තර මැදිහත්කරුවන් සමඟ හදිසි රැස්වීමක් පවත්වා තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා ලේකම් Antonio Guterres අදාළ රැස්වීම ආරම්භ කරමින් මෙම ගැටුම් වහාම නවත්වන ලෙසට ඉල්ලා සිටියේය.

සියලුම පාර්ශව ජාත්‍යන්තර නීතියට සහ මානව හිමිකම් පිළිබඳ නීතියට ගරු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

එහෙත් ජාත්‍යන්තර ඉල්ලීම් නොතකා ගාසා තීරයේ හමාස් පාලකයින් සමග යුද්ධය නොකඩවා කරගෙන යන බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ඉඟියක් ලබා දී තිබේ.

මේ අතර ඊශ්‍රායලයේ සාපරාධී ක්‍රියා ජන සංහාරයක් ලෙසත් මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ලෙසත් පිළිගත යුතු බව ඉරාන විදේශ ඇමති Javad Zarif පවසයි.

ගාසා තීරයේ ඇතිවූ නවතම ගැටුම් හේතුවෙන් මේ වන විට දරුවන් 55 දෙනෙකු සහ කාන්තාවන් 33 දෙනෙකු ඇතුළුව පලස්තීන වැසියන් 188 දෙනෙකු මිය ගොස් ඇති අතර පුද්ගලයින් 1,000 කට අධික ප්‍රමාණයක් තුවාල ලබා තිබේ.

මේ අතර වයස අවුරදු 5 ක පිරිමි දරුවෙකු සහ හමුදා භටයකු ඇතුළුව ඊශ්‍රායල වැසියන් 8 දෙනෙකු මේ දක්වා සිදුවූ ගැටුම් වලින් මියගොස් ඇත.

තරග 3 ක එක්දින තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයට පැමිණෙයි

එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම ඊයේ දිනයේදී බංග්ලාදේශයට පැමිණියේය.

මේ අතර පළමු දිනයේදීම සිය ශාරීරික යෝග්‍යතා ව්‍යායාම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම රැඳී සිටින හෝටල් පරිශ්‍රයේදී ම සහභාගිවූ බව වාර්තා විය.

බංග්ලාදේශයට ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට ජෛව බුබුලකට යොමු කොට තිබෙන අතර එහි පළමු දින 3 නීරෝධායන කාලයක් ලෙස නම් කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මැයි 21 වැනිදා වන තෙක් එම හෝටල් පරිශ්‍රය තුළම රැඳී සිටීමට නියමිතය.

එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන සුපර් ලීග් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය එක්දින තරග 3 කින් සමන්විත වේ.

මැයි 23, 25 සහ 28 යන දිනවල පැවැත්වීමට නියමිත එම තරග සියල්ලම ඩකා නුවර ශේර් බංග්ලා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත.

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
මධ්‍යම පාර්ලිමේන්තුවෙන් පසුව වික්ටෝරියානු ප්‍රාන්ත පාර්ලිමේන්තුවේත් ලිංගික කටයුතු: මැයි 17 SBS සිංහල වැඩසටහනේ ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් | SBS Sinhala